Thursday 7 August 2014

කාලය මැවූ නරුම අරුමය...


හොරකං කරල දෙසීයක් 
ගෙදරක පුංචි කොළු ගැටයෙක්
අහුවෙලා අම්මාට- පුච්චලා අතක්
ආයෙ නොකරන්ට හොරකමක්
ගොසිප් ලංකා පුවතක්..

ඇවිල්ලා ළමා රක්ෂණෙං 
අම්මාව ගෙනිහින් කුදලං
දැම්මාලු කූඩුවේ දැන් කූරු ගැනපං
නොකරන්න ආයේ මේ වගේ 'අනුවේදනීය' 
රජකාලේ දඬුවං..

දුවනවා මයේ හිත හැල්මේ.. තිස් අවුරුද්දක් එපිට අතීතෙට..
මොනවද මංදා කියනවා.. දැනෙනවා අමුත්තක් නුහුරට..

ඉන්නවා පොඩි උන් තුන්දෙනෙක්
ලොකු එකා ගහක අත්තක් උඩ පොඩි උන් දෙන්න බිම ඇණ තියාගෙන..
රජ්ජුරුවෝ උඩයි උඩයි.. මොකක්ද කරන සෙල්ලම..
අයියෝ.. ඒ පොඩිම එකා මම නේද අක්කත් එක්ක බිම දූවිලි නාන..

මල්ලී ගෙනෙං බිත්තර දෙකක් කූඩුවෙං විකුණමු අල්ලපු ගෙදර අන්ටීට..
අපි තියමු 'ටූනමන්ට්' එකක්, බෙදමු බුල්ටෝ, සීනි බෝල දිනන උන්ට..

සුපිරි තරඟාවලියක්.. හවස් වෙනකොට හෙම්බත්..
'ස්පොන්සර්' අල්ලපු ගෙදර ඇන්ටී.. අපේම බිත්තර සල්ලි වලින්..
කියන්නේ කොහොමද අම්මාට..
නොකිය ඉමු අපි 'මැරුවත්'..සපථයක්...

"අනේ අක්කේ දවාලේ.. ගත්තානෙ මං බිත්තර දෙකක්...
සල්ලි දුන්නානෙ 'කළු මහත්තයට'.. හලාගෙනද දන්නෙ නෑ කොහෙවත්.."

"අම්මේ.. ඒක...මම..අරගෙන..එනකොට... ප..ප..පැ..පැන්නානේ..නයෙක්..අහසින්.. "
අළුත් තේ දර හරිම සුවඳයි..සනීපයි වදිනකොට තේ ඉපලෙන්..

තව කොහෙද මූ ලොකු උනාම.. ගලවපන් කලිසම.. ගෙනෙන් මට ලනු කෑල්ලක්..
බොරු කියනවද තෝ ආයෙත්.. කෝ ගෙනෙං පොඩි එකී අඹරපං මිරිස් ගුලියක්...

ටයිප් කරන්න අමාරුයි.. ඉතුරු ටික.. ඇස් පියන් පෙඟවෙලා.. තිස් අවුරුද්දකට පසුවත්..

"යුත්තේ යුත්තේ.. පජ්ජලතී.. පජ්ජලතී.. ගිහින් වරෙන් පුතේ..පරිස්සමින්.."
අපේ පොඩි එකා දැන් හොඳ තැනක.. තුණුරුවන්ගේ පිහිටෙන්..
අපරාදේ කියන්ඩ බෑ අදටත්.. දනගහනවා.. ඕන මහ සෙනගක් මැද්දෙත්..

ඇඬුනේ මට ඇයිද මංදා.. හරියටම තාමත්..
අනේ පොඩි එකෝ තව තිස් අවුරුද්දකින්.. වඳින්නේ උඹ කාටද..
අම්මටද.. ළමා රක්ෂනේටද නැත්නං..