Monday, 11 September 2017

අභි නොනික්මණ - දෙවෙනි හා අවසාන කොටස



කලින් කියෙව්වේ නැතිනම් මුල් කොටස මෙතනින් කියවා එන්න

පිත්තල හන්දියේ හැමදාම දකින රතු එළිය වෙනුවට එදා කොළ එළියක් දැල්වෙමින් තිබුනා.. නොනවත්වාම රථය ධාවනය කල අසංක විහාරමහා දේවී උද්‍යානය අසල රථය නවත්වා සිඟිති උයන දෙස බලා සිටියා උද්‍යාන පල්ලන් කිහිප දෙනෙකු මිස ළමුන් කිසිවෙකුත් නොවූ එදෙස බලා සිටීමෙන් ඔහුගේ සිත සංසුන් වූවාද නොවූවාද ඔහුට වැටහුනේ නෑ. හදිසියේ නින්දෙන් ඇහැරුණු අයෙකු මෙන් එක්වරම සිය ජංගම දුරකතනය අතට ගත් අසංක එහි බොත්තම් කිහිපයක් තද කලා.

"යස් මිස්ට අසංක" සිය කාර්යාල හිතවතියගේ ලෙන්ගතු හඬින් නම් ඔහු පියවි සිහියට ආවා.

"මේඛලා.. මං හදිස්සියේ පොඩ්ඩක් එළියට ආවා.. අද අර අළුතෙන් ට්‍රේනි ගර්ල් කෙනෙක් ආවානේ මට.. ඒ ළමයට ඉඳගන්නවත් කියන්න බැරි උනා හරියට.. පොඩ්ඩක් බලනවද ඒ පැත්ත.. අයිටී ඉන්ඩක්ශන් එකටයි. සේෆ්ටි ඉන්ඩක්ශන් එකටයි බලල යවන්න.. මීල් රූම් එකටත් ඩීටේල්ස් දෙන්න ප්ලීස්.. නිකං ඉන්නවනම් කියවන්න අපෙ පොලිසි මැනුවල් වගේ කොමන් ඩොකියුමන්ට් දෙක තුනක් දෙන්න.. ජොබ් එකට අදාල දේවල් මොකුත් දැම්ම කියන්න යන්න එපා.. මං තව ටිකකින් එනවා..ඩූ ඉට් ෆො මී ප්ලීස් මේඛලා"

"විත් ප්ලෙශර්.. ශුව මිස්ට අසංක.."

"තෑන්ක්ස් අ ලොට්.. බායි"

නිදහස් වුනු අසංකගේ සිතට එකපාර මතක් උනේ සමන්මලී ඇවිත් බුලත් අතත් දීල දණ ගහල වැඳපු විදිය.. මීට කලින් අසංකට ගෑණු ලමයෙක් වැඳල තිබුණෙ ජීවිත කාලයටම දෙපාරයි.. ඒ වෙන කවුරුත් නොවෙයි අසංකගෙම නංගී.. පළවෙනි පාර රට යනකොට විවාහ වෙලා හිටපු නැති නංගී යන්තම් පහත්වී තමාට වැන්ද බවත් ඉන් වසර කිහිපයකට පසු අසංකගේ වැඩි වියදමකින් පැවැත්වූ ඇගේ විවාහය දවසේදී නොරටක සිට පැමිණ සිට තමාට ඇය බුලත් හුරුලක් දී දණගසා වැන්ද බවත් අසංකට මතක තිබුණි. ඊට අමතරව ඔහු හිත යටින් වැඳුමක් බලාපොරොත්තුව සිටි දිනයක්ද විය.. බොහෝ කලකට පෙර කියවූ එක්තරා පොතක කුලවමියක් සරණ බැඳ යනදින තම අතගත් මනාලයාගේ දෙපා නැමදි වගක් සටහන් වී තිබිණි. එහෙත් කිශානී හෝ ඇගේ පවුලේ වැඩිහිටියෙකු ඒ පොත කිසිදිනෙක කියවා නැතිබව පමණක් එදින අසංකට පසක් විය..

අරමුණකින් තොරව වාහනයෙන් බැසගිය අසංක පාර මාරු වී ෆාමසියකින් ග්‍රයිප් වෝට බෝතලයක් හා තවත් බිළිඳු නිශ්පාදන දෙක තුනක් මිළදී ගෙන හැකි ඉක්මණින් නැවතත් තම කාර්යාලය වෙත වාහනය ධාවනය කරන්නට විය. 

*******************************
සමන්මලීට කාර්යාලයේ වැඩ අමාරු නොවූවාද නැත්නම් අමාරු රාජකාරි ඇයට නොපැවරූවාදැයි කිසිවෙකුට ගැටළුවක් නොවීය.. රුපියල් විසිපන්දහසක් වූ ඇයගේ 'ට්‍රේනින් පඩිය' ඇයට සහනයක් වූ බවත් ඇය සතුටින් රාජකාරී කරන බවත් හඳයා පැවසූවත් ඊට පෙර සිටම එය අසංකට දැනී තිබිණි. පළමු වැටුප ගත් දින ඇය අසංකට වතුර රස්නෙන් තබාගෙන පානය කල හැකි ආකාරයේ අලංකාර බඳුනක් තෑගි කලාය. 

'මොකටද වියදම් කරේ අපරාදෙනෙ.. ඔයාගේ වියදමට ඉතුරු කර ගන්න.. වැඩ ටික ඉක්මණට අල්ලගෙන ජොබ් කන්ෆමේශන් එක ගන්න ට්‍රයි කරන්න.. ඒක තමයි වැදගත්' පණ්ඩිත වාක්‍ය පැවසූවද ඇය කෑමට ගිය පසු එය දෙතුන් වරක් කරකවමින් බලා මේසයේ කොණක තබමින් එහි හැඩ බලන්නට අසංක අමතක කලේ නැත. 'මේක තියෙනවනම් පොඩි මැට් එකක් ගන්නවෙයි' ඔහුට සිතුණි. එසැණයකින්ම ඇය ආපසු එනු ඇතැයි සැක සිතුණු නිසාදෝ කඩිමුඩියේ නැවත ජෝගුව ඇසුරුමට එබූ අසංක එය ඇසුරුම පිටින්ම මේසයේ නොගැලපෙන කෙලවරක තබා තම කොම්පියුටරයට මූණ ඔබා ගත්තේය.

පසුදින අසංක කාර්යාලයට පැමිණෙන විට ලස්සන පොඩි මැට් එකක් උඩ ඒ නිල්පාට ජොග්ගුව තබා මද රස්නයෙන් යුතු උණු වතුර එකක් එහි පුරවා තිබිණි. තම කාර්යාල මේසය වෙනදාට වඩා පිළිවෙලකට අස්පස් වී ඇති බවක් අසංක දුටුවද ඔහු වඩාත්ම පුදුම වූවේ තමා පෙරදින මේ ජොග්ගුව තබා ගැලපේයැයි සිතූ ස්ථානයේම අද දින එය තිබෙනු දැකීමෙනි. එදිනවත් ඉන්පසු ගතවුණු සිව් මසකට ආසන්න කාලය පුරාවත් අසංක මේ පිළිබඳව සමන්මලීගෙන් විමසීමක් නොකල නමුදු එදින උදය වරුවේ සමන්මලී කිහිප සැරයක් තමන් දෙස බිය සැක මුසු ලෙස හොරෙන් හොරෙන් බලනවා අසංකගේ ඇස ගැටිණි.  

මේ අතරතුර දිනෙක තම විවාහයේ තුන්වන සංවත්සරයත් පුතුගේ පළමුවන උපන් දිනයත් ලඟ ලඟ දින දෙකක යෙදී තිබුණු හෙයින් අවස්ථා දෙකම අළලා විශේෂ සාදයක් කිශානී විසින් සංවිධානය කරන ලදී.. අසංකගේ අදහස වූයේ ළඟම හිතවතුන්ට නිවසට ආරාධනය කොට කෑමක් පිළියෙල කිරීම වුව 'පැමිණෙන අයගේ පහසුව තකා' කිශානී විසින් එය කොස්වත්තේ පිහිටි උත්සව ශාලාවකට පවරන ලදී. ඒ සමගම ගෙට ගෙවදීමට පෙර සිට අසංක සිතා සීටි පරිදි තුන් වේල් පිරිතක් කියා හාමුදුරුවරු දෙතුන් නමකට හීල් දානයක් දීමද යටත් පිරිසෙයින් තව වසරකින් කල් ගියේය. 

මහ රෑ ඒසී කල හෝටල් කාමරය තුල පැවති උත්සවයේ බිලටත් වඩා අසංකට දරා ගත නොහැකි වූයේ.. අසනීපයෙනුත් සිටි පොඩි එකා මරහඬ දී අඩන්නට පටන් ගැනීමයි.. කිශානීගේ මවට කෙසේවත් මේච්චල් කරගත නොහැකි වූ පොඩ්ඩා වාසනාවකට හෝ අවාසනාවකට 'හඳයා' හා බිරිඳ සමග පැමිණ සිටි සමන්මලී තුරුලේ සැනහෙමින් නිදන්නට වීම අසංකට කෙසේ වෙතත් කිශානිටනම් බොහෝ සෙයින් සතුට ගෙනා බව පෙණුනි. සාදයේ තවත් අතුරු ඵලයක් ලෙස පසුදිනම අසංක නුගේගොඩ දඹදිව චාරිකා සංවිධානය කරන ආයතනයට කතා කොට 'හදිසි අවශ්‍යතාවයක්' නිසා අත්තිකාරම් බැඳ වෙන්කර තිබූ ටිකට් පත් දෙක කැන්සල් කරන ලෙසත් අත්තිකාරම් මුදල් ඉදිරි චාරිකවක් වෙන් කිරීම සඳහා යොදා ගන්නා ලෙසත් උපදෙස් දුන් අතර අම්මාට කතා කොට නුගේගොඩ ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙවර ගමන ඉන්දියාවේ කලබල නිසා අවලංගු කර ඇති බවත් ගමන යන දිනය ඉදිරියේදී තමාට දැනුම් දෙන බවත් පැවසූවායැයි සම්‍යක් සත්‍යයක් ප්‍රකාශ කලේය. 

සාදයෙන් පෙර හා පසුවද කිශානී 'කිශානී' ම වූ අතර අසංක, අසංක වෙනුවට 'ප්‍රභාත්' විය.

සඳුදා සහ අඟහරුවාදා බැංකොක් හී සූදානම් කර තිබූ වාහන ආනයන කරුවන්ගේ ලෝක සංසදයේ වැඩමුළුවට සහභාගී වන ලෙස ඉහළින් ලැබුනු දැනුම්දීමට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට අවස්ථාවක් මෙවර අසංකට නොවීය. පසුගිය මාස හය තුල තමා දෙවරක්ම මෙවැනි 'කැට' නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් වෙන අයට 'පාස්' කල බව පමණක් ඔහුට සිහිවිය. ගමන ස්ථීර කිරීමෙන් පසු ඉරිදා හවස ෆ්ලයිට් එකට ටිකට් එක පවා කිශානි සිකුරාදා හවස එනවිට ගෙදර ගෙනැවිත් තිබිණි. කාර්යාල කාමරයෙන් පිට රාජකාරීවලදී වෙනදා නොතිබූ මොකක්දෝ කම්මැලි කමක් දැන් තමා පසුපස එන බව අසංක තේරුම් ගෙන සිටියත් ඒ ගැන වැඩිදුර සිතන්නට ගියේ නැත. කලයුතු විශේෂ රාජකාරීයක් නැතුවද සිත රවටා ගැනීමට ඔහු ඉරිදා උදය වරුවේ කාර්යාලයට ඒමට සිතා ගත්තේය.

********************************

ඩෙනිම් කලිසමට නිල්පාට කොටු වැටුණු සැහැල්ලු කොට්න් කමිසය හොඳින් ගැලපුණි. වෙනදාට බොහෝ විට අමතක වන 'රෝයල් මිරාජ්' සෙන්ට් එක එදා අසංක ටිකක් වැඩිපුරත් එක්ක ගල්වා ගත්තේය. අසංක ඔෆීස් එකට එනවිට අට හමාර පසුවූවා පමණි. මද රස්නය රැගත් උණු වතුර ජොග්ගුව මේසය මත සිහින් දුම් රැල්ලක් මුදාලමින් තිබුණි. 

"ගුඩ් මෝනින් සර්"

කාමරයේ කෙළවර ලිපිකරු මේසය අසල උඩවැඩියා මලක් පිපී ඇත. මොහොතකට අසංකට ඇස් ඉවතට ගත නොහැකි විය. සාරිය වෙනුවට ගවුමක්.. බැඳපු කොණ්ඩය වෙනුවට පිට මැදට කඩල දාපු කැරළි කොණ්ඩයක්.. පළපුරුදු කෙනෙකු මෙන් ඇඳුම මැච් කරල ගාල තියෙන තොල් ආලේපනයක්.. හැබැයි අර ලස්සන දිලිසෙන මුව ඇස්.. 

"මෝනින්.. අද සමන්මලී ගොඩාක් වෙනස්.." 
කුහකයෙක් වෙන්න හොඳ නෑ.. 
"ලස්..සනයි.." මොහොතකට අසංක අසංකම උනා.

"සර්ත්.. තැන්කියූ සර්.." සමන්මලීත් ඒ ටික කියා ගත්තෙ අමාරුවෙන්..

වෙනදා වගේ ලැප් එක දිග ඇර ගත්තත් අසංක ඒ දිහා බලනවට වඩා කරේ මේසෙ උඩ තිබ්බ කොලයක් කුරුටු ගාන එක.. සමන්මලී කොයි වෙලේ හෝ තමුන්ට ඇමතුමක් ලැබේයැයි විමසිලිමත් වෙමින්ම යම් දත්ත වගයක් කොම්පියුටරේට කවමින් සිටියා..

අඩුම තරමින් ඉදිරි පැය තුනක් හෝ හතරක් මේ දෙය මෙයාකරයෙන්ම සිදු උනා.

"සමන්මලී විශේෂ වැඩක් නැත්නම් දැන් යන්න.. මාත් තව ටිකකින් යනවා. ෆ්ලයිට් එක රෑ අටට.. හෙට අනිද්ද දවස් දෙකේ ඔයාගේ ස්ටඩීස් මොනව හරි තියෙනවනම් කර ගන්න.. මතක ඇතුව ට්‍රේනින් රෙකෝඩ් එක අප්ඩේට් කරන්න.." තව මොනවද මොනවද උපදෙස් ටිකක් දුන්නට පස්සේ සමන්මලී පුටුවෙන් නැගිටල අසංක ලඟට ආවා. 

"සර් එහෙනම් මං යන්නම්.. මං ආවට පස්සෙ සර් පිටරට යන පළවෙනි දවස.. බුදු සරණින් එහෙනම් පරිස්සමින් ගිහින් එන්න" එක්වරම මේසය වටෙන් පැමිණි ඇය අසංක පාමුල දණ ඔබා වැන්දා.. 

පුටුවෙන් නැගිටුනේ ඉඳං හිටිය අසංක නෙවෙයි.. බිමට නැමුණු අසංක දෙවුරෙන් අල්ලා සමන්මලීව සිටෙව්වා.. ඇගේ උරපතු දිගේ ගෙල දෙසට ඔහුගේ අත් ගමන් කරා.. ඇගේ සිහින් ගෙල වටේ එක්වුණු අසංකගේ දෑතේ මහපට ඇඟිලිවලින් ඒ නිකට ඔසවනු ලැබුවා.. දෙයියනේ ඇස් දෙකේ කඳුලු.. දින දෙකකට වෙන්වන තම ස්වාමියා වෙනුවෙන් සේවිකාවකගේ නෙතකට උනන කඳුලු වලට වඩා වැඩි බරක් ඒ කඳුලු වල අසංක දැක්කා.. 

සමන්මලීගේ ගෙලට ඒ නිකට ඔසවා තබාගෙන ඒ ඇස් අසංකගේ ඇස් වෙත රඳවා තබා ගත හැකි වූ විට අසංකගේ නැවත ඇගේ උරපතු දිගේ දෙ අත් ගොබ සොයා ගියා.. ඉන්පසු නැවත උරපතු වෙතත් එතනින් පිට දිගේ මදක් දුර පහලටත් ගමන් කල ඒ අත් විදුලි වේගයකින් මෙන් එක්වරම සමන්මලී අසංක වෙත ඇද ගනු ලැබුවා.. මෙතෙක් සිහිනෙන් පමණක් රසවිඳ තිබූ රසවත් පළතුරක් ලෝකයේ කොහේදෝ කොණක තිබී තමන් අතට හැබෑවටම පත් වුනාක් වැනි හැඟීමකින් අසංක ඒ දුර්ලභ වූ පළතුර පරිස්සමින් සිප ගත්තා.. වායු සමීකරණය කර තිබූ ඒ සීතල කාමරය තුල මෙතෙක් තමා පැතූ ඒ සදාතනික උණුසුම අසංකට දැණුනා. 
ගතවූයේ නිමේශයකටත් අඩු කාලයක් විය හැකියි.. අසුරු සැණකින් තම අත් ගොබ වලට මැදිවී පොලොවෙන් ඉහලට එසවී සිටි සමන්මලීවත් රැගෙන අංශක එකසිය අසූවක කෝණයකින් ආපසු හැරුණු අසංක තම දෑතට එවලේ අසුවූ තමා පැතූ ලෝකය මෙතෙක් තමා වාඩිවී සිටි පුටුව මත හෙලුවා. රැගෙන යාමට කිසිවක් නොවූයෙන් හිස් අතින්ම කාර්යාල කමරයෙන් පිටවී අසංක ද ප්‍රභාත් ද නොවූ ඔහු තම රථය වෙත පැමිණ හදිසියෙන් මෙන් ඔෆීස් පාක් එකෙන් පිටතට රථය ධාවනය කරා..

********************************
සමන්මලී.. 'මට ඒ නමින් කතාකලේ ඔහු පමණයි.. අනිත් අයගෙන් වසන් කිරීමට උත්සහ කල ඒ නමින් ඔහු අමතද්දී මං ඒකට කැමති උනේ ඇයි' ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි උනා.. ඇය වැඩිදුර කිසිවක් සිතුවේත් නෑ.. සුළු වෙලාවකට ලද ඒ උණුසුමෙනුත් කිසිදා සිහිනෙන් හෝ වාඩි වීමට උත්සාහ කල මෙම පුටුවේ වාඩිවී සිටින මේ අහම්බයෙනුත් ඇය විකසිත වී සිටියා.. ඇස් එකලස් කරගත් මොහොතේ ඒ මේසය මත වූ කටු සටහන් ගොන්නේ ලියා තිබුණු මේ පද වැල් සමන්මලීගේ නෙත ගැටුනා.. 

නේරංජන දිය රැළි මත
බිඳී යයි ඇසළ පුරහඳ
කිරිපිඩු ගෙන මග නොබලන් සුජාතාවනි...
මම කොහොම නික්ම එන්නද ගිහි ගෙයට නොපැරදී...
සියක් පෙර නිමිති දැක ඉපදෙමින් මැරි මැරී...
කල්පයක් තවත් ඉවසා අපි පුරමු පාරමී...

කන්ථකද විකුණු මුදලින
සාරි දෙක තුනක් අරගෙන
සාද දා නටා සූ සැට සිල්ප දක්වනා...
නළඟන නිසා නොවේ රාහුල නමින් නවතිනා...

ගම පුරා හැදුනු නිබ්බුත
අසා කළකිරී තැවෙමින
බාවනා වඩා මගඵල ලබන්නට බැරී...
කැණිමඩලට උරදෙමි තුරුලේ සුවය හිමි නැතී... 

**** නිමි ****

****************************************
නිධාන කතාව

නුවර එලිෆන්ට් වෝක් හෝටලයෙදි 2002 වසරේදි වරක් පැවැත්වුණු සාදයක් අතරතුර ඝෝශාකාරි සංගීතය මැද්දේ එවකට පේරාදෙණිය වි.වි. අවසන් වසරේ ශිෂ්‍යයෙකු වූ මා අතිජාත මිත්‍ර ජයවීර බණ්ඩාර පේපර් සර්වියට් එකක යමක් කුරුටු ගාමින් උන්නා. මද වේලාවකින් මා ඇමතූ ඔහු 'මේක කියවලා බලපං ඔය මට ඊයේ රෑ හිතට ආපු අදහසක්' කියා ඉහත ගීතය අඩංගු පේපර් සර්වියට් කැබැල්ල මගේ අතට දුන්නා. පළමු වර කියවීමේදීම එහි අර්ථයත් පද ගැලපීමත් නොමැකෙන ලෙස මගේ හිතේ සටහන් වුණා. වරෙක මෙම ගීතය 'කපුගේ' ලවා ගායනය කරවීමට අප කතිකා වුවත් ඒ සඳහා අවස්ථාවක් ගැනීමට නොහැකී වූ නිසාත් කපුගේ මහතා ගේ අකල් වියෝව නිසාත් එය මෙතෙක් පද රචනයකට පමණක් සීමා වුණා. 

ගීත රචනයෙහි මෙන්ම තොරතුරු තාක්ශණයේද කෙළ පැමිණියෙකු වූ මොහු මා කොම්පියුටර් ගැසීමට ඉගෙන ගැනීමටද පෙර පටන් බ්ලොග් ලියන්නෙක් වී සිටියා.. පේරාදෙණිය වි.වි. තේමා ගීතය ලෙසත් සයන්ස් ෆැකල්ටියේ තේමා ගීතය ලෙසත් දැනටත් භාවිතා වන ගීත දෙකත් තව ඉතා අලංකාර ගීත හා පබැඳුම් කිහිපයක් සමග මේ පබැඳුම ද  ඔහුගේ මෙම බ්ලොග් සටහනෙහි ඇතුලත් වෙනවා. 

රාජකාරී කටයුතු වලට මුල් තැන දෙමින් නිර්මාණකරනයෙන් බැහැරව ඉන්න ඒ අති දක්ශ නිර්මාණශීලී මා මිතුරාට නැවත බ්ලොග් අවකාශයේ සැරි සැරීමට සිත් පහල වේවායි අවසන් වශයෙන් ලියා තබමි. 


39 comments:

  1. හදවත තුළට කිඳා බහින නිර්මාණයක්. අන්න එතනයි වෙනස. කිඳා බහින්නේ හදවතට මිසක් මොලයට නෙවෙයි. හොඳ ආදර්ශයක් මෙයින් ලබන්න නම් මේ නිර්මාණය මොලයෙන්ද රස විදිය යුතුයි.

    එකිනෙකාගේ සිතුම් පැතුම් නිරායාසයෙන්, ඉඟියෙන්, කතා විලාශයෙන්, හැසිරීමෙන්, තේරුම් ගැනීම එක විදිහක්. නිරුත්සාහයෙන්ම තේරුම්යාම තවත් විදිහක්. අපිට පෙර පින් තියෙනනම් ඕනෙ නිරුත්සාහයෙන්ම තේරුම් යන විදිහේ පුද්ගලයන් හමුවීම සඳහා.

    මම මේ කමෙන්ට් එක ලියන ගමන් මගේ බිරිඳ සමග සාකච්ඡා කරමින් ඉන්නේ ඇද රෑට හදන නූඩ්ල්ස් එකක වට්ටෝරුව ගැන. මෙහිදී අපි දෙදෙනා අහසට පොලොව වගේ වෙනස්. හැබැයි දෙදෙනාටම නූඩ්ල්ස් කන්න අවශ්‍යයි. දැන් මොකද කරන්නේ. වට්ටෝරුවේ යම් යම් වෙනස්කම් කරලා දෙදෙනාටම වැඩි කැමැත්ත එන තැනකට අවශ්‍ය වෙනස හදාගත්තා.

    එකම වට්ටෝරුව අපිට කොයිදේත් එපා කරවනවා. වට්ටෝරුව වෙනස්කිරීම හරිම අමාරුයි. හැබැයි හරි අවබෝධයෙන් කරගත්තොත්, හදිස්සියේ දකින කඩ කෑම කන්න හිතෙන්නේ නැහැ. අපිට ආදරය කරන අය ලෝකෙ පුරාම ඉන්නවා. පිටස්තරයන්ගෙන් අපට ලැබෙන ආදරය තිබිය යුතුයි. නමුත් එය ආලය හෝ ප්‍රේමය නොවියයුතුයි, විශේෂයෙන් විවාහයෙන් පසුව.

    ReplyDelete
  2. //දැන් මොකද කරන්නේ. වට්ටෝරුවේ යම් යම් වෙනස්කම් කරලා දෙදෙනාටම වැඩි කැමැත්ත එන තැනකට අවශ්‍ය වෙනස හදාගත්තා. // අසංකත් නොවන ප්‍රභාතුත් නොවන ඔහු.. ස්තූතියි ඔබතුමාගේ දීර්ග කොමෙන්ටුවට.. ඔය නෙගෝෂියේශන් ස්කිල් එක හරහා මද්‍යස්ථ මතයකට එන්න පුළුවන් අය තමයි සාර්ථක විවාහයක් ගත කරන්නේ.. කවදාවත් අපිට දෙන්නෙක් එක්ක ඉද්දි තනි කැමැත්තට වැඩ කරන්න බෑ.. අසංක 'අසංක' ම වෙන්න ගියානම් මේ කතාව 'අභිනික්මන' ලෙස වෙනස් කරන්න වෙනවා.. රසවත් රාත්‍රී භෝජනයකට සුභාසිරි! ජය ශ්‍රී!

    ReplyDelete
  3. //සාදයෙන් පෙර හා පසුවද කිශානී 'කිශානී' ම වූ අතර අසංක, අසංක වෙනුවට 'ප්‍රභාත්' විය.//
    //රැගෙන යාමට කිසිවක් නොවූයෙන් හිස් අතින්ම කාර්යාල කමරයෙන් පිටවී අසංක ද ප්‍රභාත් ද නොවූ ඔහු//
    මේ තැන් දෙකෙන්ම ලොකු කතාවක් කෙටියට ලස්සනට කිය‍වෙනවා මිත්‍ර.

    කතාව විචාරකතුමා කියනවා වගේ හදවතටම කිඳා බහිනවා. උපරිමයි!!

    ඔබ මිතුරු බණ්ඩාරයන් නැවත බ්ලොග් අවකාශයට පා තබනවානම් එය සැබවින්ම යහපතක්! එය එසේම වේවා කියලා පතමු!

    ReplyDelete
    Replies
    1. මමත් ආසාවෙන්ම හිටපු තැන් දෙකක් ප්‍රියා ලස්සනට අල්ලගෙන තියෙනව. මේ වගේ නිර්මාණයක් රස විදින්න ඉවසීමෙන් කියවන්න ඕන. එහෙම කියවනවනම් විතරයි ඔය වගේ සියුම් තැන් තේරුම් යන්නේ. ඇත්තටම මුල් එකටත් වඩා දෙවෙනි එක ඔබ තේරුම් ගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනව. උඩින් පල්ලෙන් කියවන කෙනෙකුට උනත් අහම්බෙන් හරි ඇහැ ගැටෙන්න තමයි මං මුල් එක වෙනම පල කලේ. වටිනා විචාරයක්.. ස්තූතියි. අහ්! යාලුවට මම කෝල් එකක් දීල කිව්ව පෝස්ට් එක කියවන්න කියල.. ප්‍රතිචාරය පස්සෙ දන්වන්නම්..

      Delete
    2. යහළුවගෙ ප්‍රතිචාරයත් දකින්න කැමතියි ඇත්තෙන්ම!

      Delete
  4. කථාව තවම රසවිඳිනවා කලන.. හරිම අගෙයි.. විචාරක තුමා කියපු දේට සියයය සීයක්ම එකඟයි


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා, මම දැකපු පරණම සිංගල බ්ලොග්එක තමයි ඔබගේ මිතුරු බණ්ඩාරයන්ගේ බ්ලොග් එක.. හැකිනම් නැවත එන්නැයි පවසන්න

      Delete
    2. ස්තූතියි විදානේ.. දරුවෙක්ගේ හොඳක් අහනව විතර අම්ම කෙනෙක් ආස තවත් දෙයක් නැහැ..
      තව එකක්.. ඔය යකාගේ (බණ්ඩාරගේ) අයිටී නොලේජ් එක නිසා තමයි මට අදටත් මේක හරියට මෙව්ව කරගන්ඩ බැරි.. උපෙ කරල ගෙදර ඉන්න දවස් වල අපි දෙන්නටම හම්බුන ඒ දවස් වල රුපියල් හතලිස් දාස් ගානක් වෙච්චි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිප්ලෝමා එකක් කරන්න ශිෂ්‍යත්වයක් ටෙක් ශ්‍රී ලංකා එකේ.. දවස් දෙකයි ක්ලාස් එකට ගියේ.. එම් එස් ඩොස් ගැනද කොහෙද මුලින් ඉගැන්නුවේ.. කොහෙන් කොහොම ඉගෙන ගෙනද මංදා මූට ඒ කාලෙත් මෙව්වයෙ වැඩ පුළුවන්.. ඉතින් මූ ලෙක්චර් ඉන්නෙ නැතුව හොරෙන් පනිනව ප්‍රැක්ටිකල් එකට.. ඕක ලෙක්චරයට අහුවෙලා මූට ලෙඩේ ඇද්දා. අනේ බොක්කෙ ෆිට් එකට මාත් මූ එක්ක සෙට්වෙලා ක්ලාස් ඉවර කරල යන ලෙකාට දෙකක් නෙලල ගෙදර ආවා. ඌ අද ලංකාවෙම ඉන්න සුපිරි අයි ටී වැඩ්ඩෙක්.. මම තාම කී බෝඩ් එකෙ අකුරු හොයනවා.. ජය ශ්‍රී!

      Delete
  5. කමෙන්ට් එක දාන්න හිත සන්සුන් නෑ. ඒ තරමට ඔබේ කතාව මගේ මුලු සිත පුරා අරක් ගෙන. අසංකගේ සැබෑම ආත්ම කථනය ඉහත පද රචනාවෙ අපූරුවට ගෙත්තම් වෙලා.

    \\නළඟන නිසා නොවේ රාහුල නමින් නවතිනා...//

    ගත සිත දෙකම සීතල කල යෙදුමක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳුමල්.. මේ පද රචනාව මුලින් දැකපු වෙලේ මට දැනුනෙත් ඔය විදියටමයි.. ඒක නිසාම තමයි අවුරුදු 12කට වැඩි කාලෙකට පස්සෙත් මේ බ්ලොග් එකේ මගේ පළවෙනි කෙටි කතාවේ ප්‍රශ්තුතය බවට ඒක පත්වෙන්නෙත්.. ඔබට ඒ හැඟීම දැනුනනම් මා සාර්ථකයි කියා හිතනවා..

      ආහ්.. ඔබේ මුල් කොටසේ කොමෙන්ට් කිහිපයටම මෙතනදි උත්තර ලැබෙන්න ඇතිනේ නේද?

      Delete
  6. අහන දකින දේ ඇසුරෙන් අපූරු සටහනක්. අර පද පෙල ගීයක් වුනා නම් කොච්චර අගේ ද. අපරාදෙ ඔහු ලියන්නෙ නැත්තෙ. මං දැකපු පැරණිම බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන.. මේක ගීයක් කිරීමේ මගේ අදහස තවම අත් හැර නෑ.. පුදුමේ කියන්නේ තනුවක් කටහඬක් නැතත් මං ඒක රස විඳිනවා.. ස්තූතියි ඔබට.. අගය කිරීමට..

      Delete
    2. මේක අමරසිරි පීරිස් මහතාට දෙන්න.

      Delete
    3. ස්තූතියි.. ඔව්. එතුමාගේ කටහඬින් අහන්න ලැබෙනවානම් ගොඩක් හොඳයි.. උත්සාහ කරල බලමු :D

      Delete
  7. පට්ට කලණ මිත්‍ර... උදේ පාන්දරම හිතට දැණුන අපූරු කතාවක්... වගේම අපූරු කවියක්...
    ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක් මිත්‍ර.. සමහර අයට තමන් කැමති දේම දෙනව සමහර අයට මුකුත්ම නෑ සමහර අයට අකමැති දේ දෙනව... අකමැති දේවල් ලැබෙන අය හිත බලෙන් හරි කැමති කරවගෙන පවුකාර විදියට ජීවත් වෙනව...
    අපූරුයි මිත්‍ර... සොමිය හිටිය නං මේකට පට්ට විචාරයක් දෙයි අපි කොහෙද ඒ වගේ දෙයක් කරන්නෙ..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයියා ඔබේ හෘදයාංගම ප්‍රතිචාරයට.. ජීවිතය නැත්නම් ජීවත් වෙනවා කියන එකට දෙන්න පුළුවන් කෙටිම නිවැරදි නිර්වචනය ඔබ මෙතන දීල තියෙනව මං හිතන්නෙ..

      මං දැකල තියෙනව සොමිය ගොඩාක් ලිපි වලට දීර්ඝ හා ආකර්ශණීය විචාරයන් ලියල තියෙනව..ඇත්තටම ඒ වගේ විචාරයකින් නිර්මාණකරුවෙකුට ලැබෙන පිටිවහල අති මහත්.. තමන්ගේම නිර්මාණයක් දිහා ඒ විදියට පිට ඉඳන් බැලුවම අපේ හිතේ විතරක් තිබිල නොකියවුණු ටික පැහැදිලි කරගන්නත් පුළුවන්..

      බ්ලොග් ලෝකයට මං තාම අංකුරයක් විතරයි.. ඔබ ඇතුළු කිහිප දෙනෙක් සමග මෙවැනි බ්ලොග් එකක් තියනවදවත් දන්නෙ තව බොහොම සුලු පිරිසයි. එය දිනක හරියාවි. සොමියලා මෙතෙන්ට ගෙන්වන්න නම් නොකඩවා නිර්මාණයේ යෙදිය යුතු බව මං වටහා ගෙන ඉන්නේ. ස්තූතියි නැවතත් දිරි ගන්වන සුලු වචන වලට.. ජය ශ්‍රී!

      Delete
  8. "ඔබේ සිත මා සොයනවා... සොයනවා"
    -- විපුල් ධර්මප්‍රිය ජයසේකර --

    ටූ ලේට් බොස්!

    ReplyDelete
    Replies
    1. බෙටර් ලේට් තෑන් නෙවර්..

      හමන මදනලෙහි රහසින් සඟවා- ඔබට නොකී පුවතක් කීවා
      ඔබසිත නොතලා සුලඟට තෙපලා- නොපැතූ සිතකට සිත පිදුවා

      -අබේවර්ධන බාලසූරිය

      ස්තූතියි! පැමිණි බව දැකීමම සතුටක්.

      Delete
    2. හිතට දැනුන සියුම් දුක යටපත් කරගෙන කලින් කොමෙන්ටුව දැම්මෙ
      අසා බබාලගෙ දුර්වල තැන් දැන හැඳිනගෙන මර්මස්ථානයටම පහරදෙන සමන්මලීලත් ඕසෙට මචං!

      Delete
    3. හිත මොහොතකට සසල උනා කියන්නෙ මට දැනුනු දේ ඔබටත් දැනිල.. ඒ කියන්නේ මගේ වෑයම සාර්ථක විය යුතුයි.. ඒ සමන්මලීලගේ කථාවත් බොහෝවිට ළඟදීම ලියවෙයි.. එවන් සංවේදී අත්දැකීමක සටහනුත් අත පොවන මානයේ තියෙනව...
      ජයශ්‍රී!

      Delete
  9. මිත්‍රයා..ටිකක් පහුවෙලා එන්න උනේ...
    නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්/මාර්ගයෙන් ගමෙන් නගරයට සංක්‍රමනය වෙන අපවැන්නන් මුහුන දෙන යථාර්තය...
    ඔන්න ඕකයි ඇත්ත....
    සංවේදි වෙච්ච තරම කොච්චරද කියනවා නම්, අත්දැකීම වින්දා වගේම දැනුනා...

    ReplyDelete
    Replies
    1. ///සංවේදි වෙච්ච තරම කොච්චරද කියනවා නම්, අත්දැකීම වින්දා වගේම දැනුනා...///

      චෙෆාකී, ඔබේ ඒ සම්මානය මට හොඳටෝම ඇති.. ඔව්, ඒ ඔබේත් මගේත් අප වැනි තව බොහෝ දෙනෙකුගේත් කතාවයි.. නම් ගම් සිද්ධි සිද්ධාන්ත කෙසේ වෙනස් වුවත් අපි බොහෝ දෙනෙක් ජීවිතය අපෙන් ඉල්ලන දේට වඩා නොඉල්ලන දේ ජීවිතයට දෙන්න වෙහෙසෙන අය.. ඉතින් ඒ අපේ කතාවමයි.. ස්තූතියි.. ඇවිත් ගියාටත් හෘදයාංගම සටහනටත්... ජය ශ්‍රී!

      Delete
  10. තාම කතාව රසවිඳිනවා කළා ... පස්සේ කමෙන්ට් කරන්නම්

    සමන්මලී... සමන් - මලී ..
    මගේ මලී..සමන්මලී

    නටුවේ කටු නැති රෝස මලී..
    අතු-අග පිපි සුදු පිච්ච මලී..
    මඩ ගොහොරෙන් උඩට පැන්න,
    නෙලුම් මලී මගෙ සමන්මලී

    සමන්මලී... සමන් - මලී ..
    මගේ මලී..සමන්මලී

    වන බඹරෙකුද නොවේ , නිලමැස්සෙකුද නොවේ
    දේදුන්නේ පාට පාට නුඹේ තොල් පෙති වලට වහල
    රොන් ගන්නට පොර කන මං
    සමනලයා මං සමනලයා

    සමන්මලී... සමන් - මලී ..
    මගේ මලී..සමන්මලී.................

    වැලි මිරිකා මං වතුර පුදන්නම්
    උඩ පැනලා තරු කටින් කන්නම් ...//
    හඳ බිම දා ෆුට් බෝල් ගහන්නම්
    හිනා යන්න බඩ පිනුම් ගහන්නම්

    අශ්වයා නැති කවු බෝයි වගේ
    ඔටුවා නැති සුල්තාන් වගේ
    නුඹ නැති නම් පෙම් කිරුල මගේ
    කාල ඉවර කිරි හට්ටි වගේ

    සමන්මලී... සමන් - මලී ..
    මගේ මලී..සමන්මලී

    සිකුරු හතේ චිත්‍රපටියෙන්

    ReplyDelete
  11. ඊයේ රෑ එළි වෙනකම් උඹේ සිංදුවට රිප්ලයි එකක් හොයල අන්තිමට බැරුව නින්ද ගියා.. දැනුයි ඇහැරුණේ.. ඇහැරෙනකොට මේ සින්දුව මතක් උනා.. හැබැයි වචන ඔක්කොම මතක නෑ..

    සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා...
    ඔබේ නමට පිපි මගේ හදවත් මල තවමත් පිබිදෙනවා..

    -මිල්ටන් පෙරේරා..

    රස විඳල ඉවර වෙලා මතක ඇතුව කමෙන්ට් කරපන් මචන්.. දැක්ක මදි පාඩු ටික විශේෂයෙන්ම.. ජය ශ්‍රී!

    ReplyDelete
  12. කවියකින් කිවනොහෙන
    සිසිලසක්මත් නොවන
    හීන් හිරිවැටීමක්
    දැනී නොදැනී ගියේ

    ReplyDelete
    Replies
    1. කවියෙකුද වුව මෙමා
      මටද ගොනු කල නොහී
      සියුම් සංවේදනා
      ඔබට හසුවී තියේ...

      ස්තූතියි අනර්ඝ ඇගයුමට..

      Delete
  13. Link එක පිහිටෙන් ආවට කියවල රස විදින්න තරම් වෙලාවක නෙමේ ආවෙ. ආයෙ කියවල කොමෙන්ට් කරන්නම්. සමන්මලී කියන්නෙ ලස්සන කෙල්ලොන්ටම තියන නමක් විතරමද මන්ද ?

    ReplyDelete
    Replies
    1. කියවන්නත් කලින් සමන්මලී කම්මලට එළියක් වෙලා.. ඇත්තටම.. මේ කතාවේ සමන්මලී නම් ලස්සනයි..ඒත් හැබැයි ටිකක් වෙනස් විදියකට.. වැඩිදුර කියන්නේ නෑ. නිදහස් විටෙක කියවලාම කමෙන්ට් එකක් දෙන්නකෝ. ස්තූතියි කම්මලට.. ජය ශ්‍රී!

      Delete
  14. කනගාටු වෙනවා බ්ලොග් රෝල්ට මේක එල්ල ගන්න බැරි වීම ගැන. උපරිම 300 පන්නලා. වැඩකට නැති එක්ක හොයලා පස්සේ එල්ලන්නම්. එතෙක් මට මේල් කරපං. මේක ඒකාංගික ටෙලියකට මරු. හිතෙන් මවාගෙන මේක කියෙව්වා. මගේ හිතට ආවේ

    ප්‍රේමය නම් රාගයෙන් තොර

    ගීතය. ඇත්තටම මෙතන තියෙන්නේ ඒක. නිර්මාණයකින් අපිව පියවි ලෝකයෙන් ඔබ්බට ගෙන යන්න සමත් නම් එය සාර්ථක එකක්. මේ නිර්මාණයත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. //නිර්මාණයකින් අපිව පියවි ලෝකයෙන් ඔබ්බට ගෙන යන්න සමත් නම් එය සාර්ථක එකක්. මේ නිර්මාණයත් එහෙමයි.// උදේ පාන්දර ඉහේ මලක් පිපුණා වගේ.. දවසම ගොඩ.. ස්තූතියි.. මටත් ආපහු කියවනකොට හිතුනා පොඩි ටෙලි ගතියක්.. ජය ශ්‍රී!

      Delete
  15. කලා හිත කියවන්ට පටන් ගත්තා. මේ මනරම් බ්ලොගයක් වෙන බවට සැකයක් නෑ . හරිම සතුටුයි . ජය !!

    ReplyDelete
    Replies
    1. බොහෝ ස්තූතියි ඔබතුමාට.. ඇරඹුමටත් ඇගයුමටත්.. එය මට ලොකු ශක්තියක්.. ජය ශ්‍රී!

      Delete
  16. කල්‍යාන මිතයාත් පේරාදෙනියේ කියලා අඳුනගත්තේ අද...සතුටුයි අඳුනා ගැනීමට ලැබීමත්.

    ReplyDelete
    Replies
    1. ඔහෝ.. ඔබට වැරදීමක් වෙලා.. සමා වෙන්න එහෙම අදහසක් එන යමක් ලියවෙලා තිබුණා නම්... පේරා මට ආගන්තුක තැනක් නම් නෙවෙයි.. ඒත් මම පේරා ස්ටුඩන්ට් කෙනෙක් නම් නෙවෙයි.. මං හිටපු 'නාහ' නිළධාරියෙක්.. ත්‍රීමලේ නාවික හා සාගරික වි.වි තමයි මගේ නිජබිම..

      Delete
  17. Replies
    1. සුද්ද සිංහලෙන් ලියන්නත් බැරිද?

      Delete
  18. කලාහිත දැන් බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෑනෙ.සින්ඩිවලත් අප්ඩේට් වෙලා නෑ.

    ReplyDelete
  19. අඩේ මචං. කවි කෙටි හෝ නවකතා මට දිරවන්නෙම නැති සබ්ජෙක්ට්. ඒත් මේක නන්න පෝල් වෙන්නම ලියපු එකක්. සිංහල වල න ණ ල ළ හරියට දැනගත්තට වැඩක් නැහැ බං මිනිහෙකුට මේ වගේ දැනෙන්න ලියන්න බැරි නං. නියම ස්ටොරිය මචන්.
    👊🏽

    ReplyDelete
  20. i miss this.. ඇත්තටම ලස්සනයි.. ගීතයත් හරිම ලස්සනයි....අවසානය හිතන්න ඉතුරු කරලා ඉවර කරලා... මං ආස විදිය..දැන් දවස් ගානක් මේකේ අවසානේ මන් හිතහිත ඉඳිවී..
    කල්‍යාන මිත්‍ර අපේ පැත්තේ ආවේත් නෑ කාලෙකින්...

    ReplyDelete