Thursday 30 July 2015

පාවෙන ඡන්ද දෙකක් විකිණීමට තිබේ.. (දේශපාලන පෝස්ට් එකක් නොවන බව කරුණාවෙන් සළකන්න.) The story of majority I see...

(මේ කතාව කීමෙන් කිසියම්ම වූ පුද්ගල චරිතයකට අවැඩක් කිරීමේ අදහසක් තුන් හිතකවත් නොවූ බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි.)
Photo courtesy: www.google.com
යම්කිසි අවශ්‍යතාවයක් සඳහා දිනක් මා සමඟ රැකියාව කරන එක්තරා නිළධාරියෙකුට මම රාජකාරී වෙලාවේදී ඇමතුමක් දුන්නෙමි. උස නිසාමදෝ මංදා මේ ගොඩනැගිල්ලේ යම් යම් ඉහළ ස්ථාන වලට හරියට ජංගම දුරකතන සම්බන්ධතා නැත. දෙතුන් වරක් උත්සාහකොට අපහසුවෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු සිටින්නේ 47 වෙනි තට්ටුවේ බව සඳහන් කලත් අදාල පණිවුඩය ලබා දීමට ප්‍රථම ඇමතුම යලිත් විසන්ධි විය. වෙනත් වැඩක් යෙදුනු හෙයිනුත් ඇමතුම ලබා ගත් කාරණය එතරම්ම හදිසි එකක් නොවූ හෙයිනුත් මා ඒ උත්සාහය පසුවට කල් තබන ලදී. ඊට පැය භාගයකට පමණ පසු අදාල නිළධාරියා දාඩිය පෙරාගෙන මා සොයා කාර්යාලයට ආවේය. මේ වනතුරුත් අභ්‍යන්තර සෝපාන පහසුකම් සපයා නැති මේ ගොඩනැගිල්ලේ යම් දුරක් පඩිපෙළ බැස පැමිණ 'හොයිස්ට්' එකක් එනතුරු රැඳී සිට බිම් මහලේ කාර්යාලයට පැමිණීමට අවම වශයෙන් පැය භාගයක් ගතවේ. ඔහු එසේ පැමිණ '.... මට කතාකරේ?'යි අසනවිට මට මතක් වූයේ මේ නිකරුණේ ගතවන කාලයයි. වැඩය පසෙක තබා ඒ ගැන මා ඔහුට 'මනුස්සයෝ.. ඕකට ඔය මුදුනේ ඉඳල එන්න ඕනිද? සිග්නල් තියෙන තැනකට ගිහින් කෝල් එකක් දෙන්න තිබුණානේ'යි පවසමින් දොස් තබන විට ඔහුගේ මූණ බල බලා ඉද්දී අඳුරු වීය.. "ෆෝන් එකේ සල්ලි ඉවර වෙල...." වට පිට බලමින් මා වෙත නැඹුරු වී ඔහු කියනා විට මා ඔහුට කතා කල කාරණය මට සහමුලින්ම අමතක වීය.  

මෑතක දිනෙක මේ නිළධාරියාගේම මවගේ අභාවයෙන් වසරක් නික්ම ගිය තැන යෙදෙන දානමය පුන්‍යකර්මය යෙදී තිබුණි. මට මතක විදියට ඒ පහුගිය 16 හෝ 17 වැනි දිනකටය.. මා ඒ ගැන විමසූ වෙලේ ඔහු කීවේ එය 25 වෙනි සෙනසුරාදාට කල් තැබූ බවයි. හේතුව නම් 'ඇඩ්වාන්ස් එක ගන්නා තුරු' ඉන්න අවශ්‍ය වීමත් සෙනසුරාදා වරුවක් පමණක් නිවාඩු ගැනීමෙන් 'වැඩේ ගොඩ දා ගෙන' ඉරිදා වැඩට ඒමට හැකි වීමත්ය. ඉරිදා යනු අද වන විට පෞද්ගලික අංශයේ නම් මෙම ශ්‍රේණි වල නිළධාරීන්ගේ අනිවාර්‍ය වැඩකරන දිනයකි. 'ඉරිදා හතරේයි පෝය දවසේයි ඕ.ටී. ටික' කරේ නැත්නම් මාසයම සොරි වන්නේය.

මීට පෙර වරෙක ඔහු කුඩා කරාඹු ජෝඩුවක් ඔතාගෙන වටපිට බලමින් මා වෙත ආවේය. "... මං අද ආවේ මේක තියල රුපියල් හාරදාහක් ගන්න, ඉන් අනිද්දට දුවගේ කොන්වකේෂන් එක, ඇඳුම් ගන්න දැන් එනවා කියුවා පිටකොටුවට.. මේක උගස් තියාගන්න බැරි උනා.. තියෙනවනම් මට රුපියල් හාරදාහක්...." මා සල්ලි කාරයෙකු නොවේ. ඒත් වෙලාවට එදා මා අත රුපියල් හාරදහසක් තිබුණි. නැත්නම් එවලේ මගේ පපුව හිර වෙනවා නියතය. එයින් එළඹුණු 25 වෙනිදා ඔහු වහාම ඇඩ්වාන්ස් එක ගෙන මගේ ණය පියවා දැමුවේය. ඒත් ඉන් දින කිහිපයකට පසු ඔහුට වෙනත් ගටළුවක් තිබුණි. ඒ රුපියල් පන්සීයක අවශ්‍යතාවයකි. කෝච්චියේ සීසන් එක එදා අළුත්කල යුතු විය. 

ඔහුට වඩා මට තවත් හිතවත් නැත්නම් ලෙංගතු මගේ පරණ ගෝලයෙකුද මේ ඔෆීසියේම වෙයි.. ඌට සල්ලි අවශ්‍යතාවයක් ඇතිවූ විට දෙතුන් පාරක් මේසය ලඟට පැමිණ කැරකී යයි. 'ඇයි මොකෝ' මා අසන නමුත් මගේ පර්ස් එකේ ඔහුට ඕනි ගාන හරියටම ඇති බව ඔහු දනී.. 'මෙච්චරයි තියෙන්නේ'යි මා පවසීමට ප්‍රථමම 'ආ.. ඒ ඇතියි' කියා එය රැගෙන යයි. මෑතක සිට අළුත් සෙල්ලමකි. එනම් නීති විරෝධී වුවත් මා භාවිතා නොකරන මගේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්නේ ඔහුයි. යනිං එනිං 'කාඩ් එක තියෙනවදයි' අසාගෙන යන විට මා එය පර්ස් එකෙන් ඇද මේසය මත තබමි. කිසි කතා බහක් නතුව පහු වෙනිදාට කාඩ් එක ආපසු ගෙනත් දෙනු ලැබේ.. 25 වනදා හවසට බංකුවෙන් 'සල්ලි ලැබුණු බවට' SMS එකක් එන අතර ඊ මේල් එකකින් එන මාසික ගනුදුනු සටහන බැලුවොත් මිස කාඩ් එක රැගෙන ගොස් ඔහු මොනවා කලාදැයි මා දන්නෙත් නැත. (තවමනම් මෙවැනි කටයුතු නිසා මට අවැඩක් හෝ හිත් නොහොඳ වීමක් වී නැති නමුත් තව කොපමණ කලක් ඔවුන්ට ඔවුන්ගේ වගකීම හරියට ඉටු කළහැකිවේදැයි විශ්වාස නැත.. ඒත් මේ රුටීන් එක නැවැත්වීමටද මට හැකියාවක් නැති සෙයකි.. ඊටත් වඩා ඊට සිත් නොදේ..)

ආසන්නම තිගැස්සීම ඊයේ සිදුවිය. ඉහත කී නිළධාරීන් දෙදෙනාම නිවසේ සිට වැඩට යන එන්නන් වේ. ඔෆීස් චමරියේ උයන කෑම සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු කන්නේ හා ඊට වඩා ඒ පිළිබඳව කතා කරනුයේ 'වෙන කරන්නම දෙයක් නැති නිසා' කනවා මෙනි. (ගෙදරින් බත් කටක් කනවා වගේ ඇත්තටම රහ නැති උනත් කොළඹ ගෙයක් නැති නිසාත් කඩ වල පට්ට ජරාව ගිනිගණන් දී කෑමේදී කන ප්‍රමාණෙට වඩා පිච්චෙන නිසා මමනම් හැකි සෑම විටම තුන් වේලම ඔෆීස් චමරියෙන් කමි.) නමුත් මා හිතා හිටියේ හවසට ගෙදර යනවුන් මට වඩා බොහෝ වාසනාවන්තයින් බවත් ගෙදර ගොස් හිතේ හැටියට උයාගෙන කා සැනසීමෙන් හිඳ ආපසු වැඩට එන බවත්ය. මා ඇතුලතින් කම්පාවට පත් කරමින් ඊයේ මා දුටුවේ මගේ මේ හිතවතුන් දෙදෙනාම ඔෆීසියෙන් පිටත් වීමට පෙර තම තමන්ගේ කෑම එක ෂොපින් මල්ලක ඔතාගෙන අතේ උන්ඩි කරගන්නා ආකාරයයි.. පැත්තකට කතාකොට මට වඩා හිතවත් එකාගෙන් මම 'සහැල්ලුවෙන් මෙන්' ඒ ගැන ඇසුවෙමි. 'දැන් ගියාම ගොඩක් වෙලාවට රෑට ඉවෙන්නේ නෑ.. පොඩි දෙන්නට මේක කවල නිදි කරාම අපිට ඔය මොනව හරි හදාගෙන කන්න බැරියැ.. අනික මේකට කැපෙන්නේ ගානෙන් බාගයයිනේ.' මම මොහොතකට නැවතත් සසල වීමි. මොහු කුඩා දරු දෙදෙනෙකුගේ පියෙකු වූ නමුත් මා කලින් සඳහන් කල නිළධාරියා වැඩිහිටි දුවකගේ හා පුතෙකුගේ පියෙකි. ඔහු තම රාත්‍රී කෑම එක ඔතාගෙන යාමේ පසු කතාව මා වැඩි දුර නොසිතා සිටියෙමි..

මා මේ සඳහන් කල නිළධාරීන් දෙපලම ඕ.ටී. හා අනෙකුත් දීමනා සහිතව මසකට රුපියල් හතලිස් දහසක ආසන්න වැටුපක් ලබන 'වැඩ පරීක්ශක' හෝ ඊට සමාන ශ්‍රේණියක නිලධාරීන් දෙපලක් වූ අතර මා සමඟ මෙහි වැඩ කරන අනිත් බොහෝ සේවක මහත්වරුන් ඔවුනට වඩා අඩු පඩියක් ගන්නා පහල ශ්‍රේණි වල අය වේ. යමෙකුට මතක නම් මා ගිය මාර්තු 31 වනදා සටහන් කල ආකාරයට යහපාලනයෙන් බෝනස් එකට වැදුණු පොරෝ පහරත් සමඟම බෝනස් එක බලාගෙනම සමහර අමතර වැඩ යොදාගෙන හා අවසන් කර තිබූ මොවුන් බොහෝ දෙනෙකු කබලෙන් ලිපට වැටුනු බව නොරහසකි. ඒ නැතත් දරු පවුලක් රකිමින් ලංකාවේ ජීවත්වීම යනු අද වනවිට 'මාරම ගේමක්' වී හමාරය. මූලික අවශ්‍යතා කීහිපයක් බොහෝම අමාරුවෙන් මා ඔය පෙර සඳහන් කල ආකාරයට කලමණාකරනය කරගන්නවා හැර බොහෝ විට ඒ ජීවිතවල විඳීමක් කියා දෙයක් ඇත්තේම නැත.  

පසුගිය ජනවාරි අටවනදා වෙනසකට සවියක් වීම සඳහා මා උදේ පාන්දරම දරු පවුලත් පටවාගෙන ගාල්ලේ සිට බදුල්ලට පැද්ද අතර බලාපොරොත්තුවූ වෙනස නම් සිදුවූ නමුත් ඒ සඳහා මා හට අමතරව වියදම් කිරීමට සිදුවූ රුපියල් හය හත්දහසක මුදල 'වෙනස' හරහා පියවා ගැනීමට මෙතෙක් නොහැකි විය. (ඒ වෙනුවට මට මෙතෙක්නම් ලැබුනේ පාඩුම පමණි. රටට මොනාකාරයේ වාසි උනාදැයි සිතන්නට මේ වෙලාවේ මට නොහැකිය.) පාසැල් නිවාඩු කාලය තුල ගාල්ලේ බිරිඳගේ නිවසේ ජීවත් වන හෙයින් මෙවර 17 වනදා ඡන්දය දමන්නට යන්නේ නම් මට ඒ සඳහා 'ඉතා අධික' වියදමක් දැරීමට සිදුවන බව දැනටම ප්‍රත්‍යක්ශ කොට ගෙන සිටිමි. 

ඔය අතරේම තවත් සිත කැඩෙන වැඩක් විය. එනම් මා මුළින් සඳහන් කල නිලධාරියාගේ වාර්ෂික ඇගයීම් වාර්ථාව සකස් කොට යැවීමට මට අද සිදුවිය. ඔහුගේ බොහෝ වැඩවල ගුණත්මක හෝ ප්‍රමාණත්මක භාවය ගැන මා එතරම් පැහැදීමකින් නොසිටියත් මේ වෙලාවේ ඔහුව රස්සාවෙන් දොට්ට දාන්න බැරි නිසාම මා මොළයට නොව හදවතට යටත්ව 'සැටිස්ෆැක්ටරි' වාර්ථාවක් ප්‍රධානියාට බාර දුනෙමි. ප්‍රධානියා සමඟ පොඩි කතාවක් දාගෙන ඉන්න විට ඔහු සිනාසී ප්‍රධාන කාර්යාලයෙන් ලැබී තිබූ වාර්ථාවක් මා අත තැබීය. එයනම් ගිවිසුම් කාලය ඉක්ම ගිය එහෙත් සේවා දිගුවීම් නොදී දැනටද රාජකාරියෙහි යොදවා සිටින නිලධාරීන්ගේ නම් ලැයිස්තුවයි. අහෝ.. එහි ඉහලින්ම තිබුණේ මගේ නමයි. පසුගිය මැයි මස 20 වනදා සිට මා සේවා ගිවිසුමකින් තොරව මෙහි සේවය කරමි. 'වඩක් කරන්නෙත් නැතුව බ්ලොග් බල බල ඉන්නව.. ඒ මදිවට බෝනස් දුන්නේ නෑ කියලත් ලියලා' යැයි 'බ්ලොග් ලියන කියවන ලොකු කකුල්' අතර ඉන්න ලොක්කාගේ බොක්කක් හෙට කෝල් එකක් දී තිබුණොත් අනිද්දා සිට මටත් 'රැකියා විරහිත' ලිස්ට් එකට මාරු වීමක් ෂුවර්ය.
photo courtesy: www.google.com
මේ අවු අස්සේ ඡන්දය දාන්න යන්න 'ලොකු ගාණක්' වියදම් කරන්න කොහොමත් බැරිය. ඒ නිසාම මුලින් තීරණය කලේ මෙවර චන්දය විසි කොට දැමීමටයි. ඒත් පසුව වෙනත් අදහසක් පහල විය. එනම් මගේ හා බිරිඳගේ ඡන්ද දෙක ගානකට ආවොත් විකුණා දැමීමටයි. ගාණ නම් ගාල්ලේ සිට බදුල්ල දක්වා ගිහින් ඒමට වියදම් වෙන මුදලය.. බස් එකේනම් යා නොහැක; ඒ නිසා වාහනයේ යාමට යන වියදම- (ඉන්ධන ඇතුලු අවමය..) රුපියල් දහදාහක්.. අවම ලන්සුවයි. කොහොමත් කන විදියට ඒදවස් දෙකේත් කන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන් අමතර මුදලක් නොඉල්ලමි. බෝනස් එකක් ලෙස නිවාඩුව අතරතුර බදුල්ලේ ගෙදර ගොස් වටේ පිටේ බලාගෙන ඒමට හැකි නිසාත් ඡන්දය නොදී සිටියායයි හිතට එන අසහනයෙන් මිදීමට හැකි නිසාත් මෙය කොහොමත් හොඳ අදහසකි. 

මට අමතරව දනටම තම තමන්ගේ ඡන්ද මෙසේ විකිණීමට සින්දු ඇනෝ, උපුල් නිශාන්ත වැනි ප්‍රඥාවන්ත මිතුරන් කිහිප දෙනෙක්ද කැමැත්ත පළකර ඇත. අවශ්‍ය තවත් අය ඉන්නවානම් මේ වෙන්දේසියෙන්ම ගොඩ යාමටද හැක. ඔබගේ අවශ්‍යතාවය හා අවම ලන්සුව කොමෙන්ට් කරන්න.

හරීන් ෆර්නෑන්ඩූ, නිමල් සිරිපාල වැනි දැවැන්තයින් නිසා මගේ ඡන්ද දෙකනම් සෑහෙන ගානකට විකුණා ගත හැකි වනු ඇතැයි සිතමි. වෙනත් මතයක් දරණ පරිත්‍යාගශීලියෙකු වේනම් මා මිතුරු සමන්ත විද්‍යාරත්න සහෝදරයා වෙනුවෙන් අනුග්‍රහයක් දැක්වීමට වුව ඉදිරිපත් විය හැක. නැත්නම් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඥානසාර සාදු වෙනුවෙන් බැරිනම් ස්වාධීන අපේක්ශකයෙකු වෙනුවෙන් වුවද කම් නැත. වටින්නේ ගාන විතරකි.

කරුණාකර යම් අයෙකු ඡන්දය දීමේ වටිනාකම ගැන බරසාර දේශන මෙහි කොමෙන්ට් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ වෙනුවට ඔබට තැබිය හැකි ලන්සුව පමණක් ප්‍රකාශ කිරීම සෑහේ, මන්ද ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම මා බොහෝ තැනවල කියවා ඇති නිසාවෙනි. දැන ගැනීමට අවශ්‍ය වන්නේ මා කරන කැපකිරීම වෙනුවෙන් ඡන්දය ලබන්නාට කලහැකි කැපකිරීම පමණි. මන්ද ඡන්දය ලබා ගත්පසු යලිත් පස් අවුරුද්දක් යනතුරු උන්දැලාට මා වැනි එකෙක් මතකේවත් නැති නිසා පුළුවන් වෙලාවේ මගේ වියදම පියවා ගත යුතුයි. තවදුරටත් ඔබේ දේශපාලන මත මෙහි පිටු ගණන් පුරා වැපිරීමෙන්ද පලක් නොවන බව කරුණාවෙන් සලකන්න. මා නැවත කියමි. අවශ්‍ය 'ගණන' පමනි.  



Thursday 23 July 2015

අරූ නැවතත් කලඑළි බසී Aru back in action

කලකට පෙර ලන්ඩන් සිට අවුල් වන්නට පෙර අරූගේ අඩවිය ලියූ අරුණ පෙරේරා හෙවත් අපේ හිතවත් අරූ අයියා.. අපිට බරපතල අසාධාරණයක් කර පැන ගියත් හිතින් අපිව අත් හැර ගොස් නැති බව.. මෙන්න කියවන්න.. ලංකා නිව්ස් වෙබ් හරහා දෙල්කඳ හන්දිය සමඟ ඔබ හමුවට.. අරූගෙන් ඔබ මා ඇසිය යුතුම ප්‍රශ්ණය එනම් 'ලියා අවසන්වන්නට පෙර අවුල් වූයේ මන්ද?' යන්න දැන් ඔබට විමසිය හැක.. අරූ අයියා ඒක නම් පට්ටම අවුල් ඈ..

දෙල්කඳ හංදියේ සිට......


Friday 3 July 2015

ෆ්‍රොම් Mrs. කල්‍යාණමිත්‍ර - To you with love


තැල්ලක් කරට බැඳ මංගල සිරි දිනෙක
අත මත අත තබා හිඳුවා පෝරුවක අත්සන ගසා නිවැරදි ලෙස නීතියට ඔබ මා රැගෙන ගියෙහිය දුර දීගයක උන්නත් ලඟින් පෙර අප උණුසුමෙන් වෙලී දෙන්නා තුන්දෙනා හා වැඩි වෙන කල නොසැලී දෙන්නට දෙන්න මිස වෙන සරණක් නොලැබී මේ ජීවිතේ ඔබ අන් හැමටම වඩා වටී

අවුරුදු දුසිමක ප්‍රේම කතා ගොඩක් මැවී කෝල හැගුමකින් සංකාවක් හිතට මැවී ඇගිලි ගනිමින් පැටව් සමග එලිපත්තටවී බලා හිදිමි ඔබ එනතුරු සිකුරාදා මගේ හිමී

හැම පැටියාම අපේ පැටව් වගෙ හින්දා රට රකින්ඩ ඔබ ගියේ යුතුකම හින්දා රත්තරන් මහත්තයා හැමදා මගේ හින්දා
පාන තියා ඉල්ලමි රැක දෙන හින්දා


****************************
හෝව්.. හෝව්.. ඩෝන්ට් මිස් අන්ඩස්ටෑන්ඩ් ප්ලීස්.. මේක මේ අපේ උන්දෑ එහෙම ලියුව එකක් නොවෙයි.. 

ඊයේ රාත්තිරියේ කල්‍යාණමිත්‍රයා එක්ක පොඩි 'චැට්' එකක් දාපු 'රූපේ' ලමයා ට මේ දවස් වල කල්‍යාණමිත්‍රයා 'විප්‍රවාස'ව ඉන්න එක ගැන බොහෝම දුක හිතිලා.. (විප්‍රවාස වචනය හැලපේ අයියාගෙන් කොපි කලෙමි.) මෙන්න බොලේ ටික වෙලාවකින් එනව අපූරු කවියකුත් ලියාගෙන.. හැබැයි මේකා ලියල තියෙන්නේ අපේ ගෙදර උන්දෑ ලියන විදියට. ඒකට 'රූපේ' ම දාපු හෙඩිමම තමයි මං දැම්මෙත්. 

රූපේ ගේ අවසරය මත මේක මගේ බ්ලොග් එකේ පබ්ලිශ් කරන ගමන් මුල් කවි දෙකට විතරක් මාත්‍රා පිහිටුවන්න කියල හිතල පුංචි වෙනසක් කරා.. තුන හා හතර කවි වල තිබුණු හෘදයාංගම ගතිය නිසාම ඒවා කිසිම හැඩ ගැන්වීමකින් තොරවම පලකලා.

කල්‍යාණමිත්‍රයා ආසම චරිතයක් තමයි කොකා කෝලා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී බ්‍රයන් ඩයිසන් කියන්නේ. එයාගේ බොහෝම ප්‍රසිද්ධ 'තත්පර තිහේ කතාව' මෙතනට නිකමට වගේ එල්ලන්න හිතුනා.. 


රස්සා බෝලේ උඩ දදා මෙහෙට වෙලා හිටියට අනිත් වීදුරු බෝලවල වටිනාකම නොදන්නව නෙවෙයි.. සමහර දේවල් තියෙනව අපිට අවශ්‍ය විදියටම පාලනය කරන්න බැරි. මොනව කරන්නද ඉතින්?